GuidePedia

0

හමුදා කුමන්ත්‍රණයකින් පසුව ලිබියාවේ පාලනය අල්ලාගත් මුවම්මර් ගඩාෆි කර්නල්වරයා දශක හතරක් එරට බලය පතුරවා පසුව කැරලිකරුවන් අතින් මරු තුරුළට ගිය අයුරු අප ඔබ වෙත ගෙන ආවේ 2011 වසරේ ඔක්තෝබර් මාසයේ දී ය. දෙපා තුවාල වී අපද්‍රව්‍ය නළයක් තුළ සැඟවී සිටි ගඩාෆි අල්ලාගත් අවස්ථාවේ කැරලිකරුවන් විසින් ඔහුට වධ හිංසා පමුණුවන ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝපට එම අවස්ථාවේ ලෝකය පුරා පැතිරී ගියේ ය.

සිය පාලන කාලය තුළ කුමන ආකාරයේ දරුණු අපරාධ සිදු කළ ද, ලිබියානු නායකයා මරා දමනු ලැබූ අමානුෂික ස්වභාවය බොහෝ දෙනෙකුට අනුමත කළ නොහැකි විය. එය අප දුටුවේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සටන් වැද සිටින කැරලිකරුවන් ප්‍රජාතන්ත්‍රවාදය නොපිළිපදින අවස්ථාවක් ලෙසයි. ගඩාෆිගේ ඝාතනය ජාත්‍යන්තර නීතිය යටතේ යුද අපරාධයක් විය හැකි බව පවා මානව හිමිකම් සංවිධානවල අදහස විය.

කෙසේ වුවද තුවාලයේ අමාරුව දන්නේ තුවාලකාරයාම බව නැවත වරක් පසක් කරමින් ලිබියානුවන්ට ගඩාෆිගේ ඝාතනය සාධාරණීකරණය කළ හැකි තවත් විශේෂ හෙළිදරව්වක් ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ හිස ඔසවා තිබේ.

බි.බි.සී. රූපවාහිනිය විසින් ලබන සතියේ විකාශය කිරීමට නියමිත වාර්තා වැඩසටහනක් මගින් හෙළිදරව් කෙරෙන්නේ ගඩාෆි යොවුන් තරුණ තරුණියන් සිය ගණනක් පැහැරගෙන ගොස් ලිංගික අපචාරවලට ලක් කළ බවත්, ඔහුට ඒ සඳහාම පිළියෙළ වූ කාමර පවා තිබුණු බවත් ය.


ගඩාෆි පාසල් හෝ විශ්ව විද්‍යාලවලට යන අවස්ථාවල තම ඇසට ලක්වන යුවතියන් තෝරා ගන්නා බවත්, ඔහු තම ඇසට ප්‍රිය වූ තරුණියන්ගේ හිස් අතගෑමට පුරුදුව සිටි බවත් පැවසේ. ඉන්පසුව ගඩාෆිගේ ආරක්ෂකයන් විසින් එම තරුණියන් පැහැරගෙන ඔහුගේ විශේෂ කාමරවලින් එකකට රැගෙන යනු ලබන අතර, එහිදී තරුණියන් ගඩාෆි අතින් ලිංගික අපචාරයට ලක් වූ බව පැවසේ. තරුණිය පැහැර ගැනීමට ඇගේ පවු‍ලේ අය විරෝධය පෑවොත් ඔවුනට එවෙ‍ලේම වෙඩි කෑමට සිදු වේ.

මෙසේ ඔහු අතින් තරුණියන් අපචාරයට ලක් කරන කාමරයක් ලිබියාවේ ට්‍රි‍පොලි පාස‍ලේ ද ඇති බවත්, අපචාරයට ලක් කරනු ලැබිමට පෙර තරුණියන්ට ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග ඇත්දැයි වෛද්‍ය පරීක්ෂාවක් පවා එහි දී සිදු කෙරෙන බවත් බි.බි.සී. වාර්තාවේ දැක්වේ.

ඊට අනුව ගඩාෆිගේ මාළිගා තුළ ද අපචාර සිදුකිරීම සඳහා විශේෂ කාමර තිබි ඇත. තරුණියන් ගැබ් ගත්තොත් ඔවුන් බලහත්කාරයෙන් ගබ්සාවට ලක් කිරීම ද සිදු කර තිබේ.

මෙලෙස ගඩාෆි අතින් අපචාරයට ලක් වූ සමහර දැරියන් වයස අවුරුදු 14 තරම් ළාබාල වියෙහි පසු වූ බව පැවසේ. ගඩාෆි පාසලකට පැමිණෙන බව දැනගත් විට සියලු දෙනාම බියෙන් ගැහෙමින් සිටින්නේ එම පැමිණීමේ අවසානයේ දී දැරියන් කිහිප දෙනෙකු ඔහුට බිලිවන බව දන්නා නිසා ය.


එසේ ගෙන යන සමහර දැරියන් වසර ගණනාවක් ඔහුගේ සිර අඩස්සියේ තබාගෙන ඇතැයි ද සඳහන් ය. සමහරුන් මාස ගණනකට පසුව ආපසු හමු වී ඇත්තේ මරණීය තුවාල සමග ය. තවත් සමහර දැරියන් ගඩාෆිගේ පෞද්ගලික ආරක්ෂිකාවන් ලෙස තබාගෙන ඇත. පෞද්ගලික ආරක්ෂකයන් වශයෙන් සුන්දර කාන්තාවන් ළඟ තබා ගැනීමට ගඩාෆි ප්‍රිය කළ බව රහසක් නොවේ.

මිනිසුන් රැගෙන විත් මරා දමන අයුරු බලමින් ප්‍රීති ඝෝෂා පැවැත්වීම ද මෙම යුවතියන්ගේ එක් 'රාජකාරියක්' වී තිබේ. මෙම යුවතියන් මුලින්ම ගඩාෆිගේ මනදොළ සපුරාලීමට යොදාගත් පසුව, ඊළඟට ඔහුගේ පුතුන් විසින් ද ඊටත් පසුව ඉහළ නිලධාරීන් විසින් ද අපචාරයට ලක් කරනු ලැබ ඇතැයි සඳහන් ය.


තරුණියන්ගෙන් පමණක් නොනැවතී ගඩාෆි විසින් පිරිමි ළමුන් ද අපචාරයට ලක් කළ බව මෙම වාර්තාවෙන් හෙළි වී තිබේ.
තමන්ට එරෙහි වන පිරිස් මරා දැමීම සඳහා ද ගඩාෆිට වෙනම භට කණ්ඩායමක් සිටි බව හෙළි වේ. එසේ මරා දැමූ සමහරුන්ගේ සිරුරු වසර 25ක් තරම් කල් ශීතකරණවල තබාගෙන නැවත නැවතත් බලමින් සිය  ජයග්‍රහණය පිළිබඳව සතුටු වීම ඔහුගේ විනෝදාංශයක් වූ බව ද ඔහුගේ සමීපතමයන් විසින් මෙහිදී හෙළි කර තිබේ.

ගඩාෆිගේ කෲර පාලනය අද පවා ලිබියාව තුළ කොතරම් හොල්මන් කරන්නේ ද කිවහොත් බොහෝ දෙනා බි.බි.සී. වැඩසටහන සඳහා තොරතුරු ලබා දී ඇත්තේ නම් ගම් පවා සඳහන් නොකරමිනි.

ගඩාෆි මරා දැමූ අවස්ථාවේ එවක ලිබියාව පාලනය කළ අන්තර්වාර රජය ගඩාෆි විසින් ලිංගික අපචාර සිදුකළ මෙම කාමර රහසේම සීල් තබා ඇත. ඔහුගේ මෙම පහත් සල්ලාල ජීවිතය ලොවට හෙළිවීමෙන් බටහිර ලෝකය භීතියට පත් වී, ලිබියාවට ලෝකය ඉදිරියේ ලැජ්ජාවට පත්වීමට සිදු වෙතැයි අන්තර්වාර රජය සිතා ඇත.


ගඩාෆිගේ ලිංගික අපචාරවලට අමතරව ඔහු විසින් සිදු කළ තවත් අපරාධ පිළිබඳව ද බි.බි.සී. වැඩසටහනේ දී විකාශය කෙරෙනු ඇත. බි.බි.සී.යේ මෙම හෙළිදරව්ව ප්‍රතික්ෂේප කරන හෝ එය අසත්‍යයක් බව පවසන කිසිදු ප්‍රකාශයක් මෙම ලිපිය ලියන අවස්ථාව වන තෙක් එරට කිසිදු මාධ්‍යක පළ වී නොතිබුණි.

Post a Comment

 
Top